TENET කියවමු

Thisaru Guruge
11 min readDec 25, 2020

ක්‍රිස්ටෝෆර් නෝලන් කියන්නේ “අමුතු” ජාතියේ “වැඩ” කරන අධ්‍යක්ෂ්‍යකවරයෙක් බව සිනමා රසිකයන්ට අළුත් දෙයක් නෙවෙයි. නෝලන්ගේ අළුත් ම “වැඩේ” තමයි TENET.

නෝලන් ගේ ගොඩක් කතා වගේ ම, මේකත් එක පාර බැලුවට හරියට ම තේරෙන්නේ නැති, ටිකක් සංකීර්ණ කතාවක්. මේ නොතේරීමට කතාවේ සංකීර්ණ බව වගේ ම, නොපැහැදිලි දෙබස්, මහ හයියෙන් ඇහෙන පසුබිම් සංගීතය වගෙ කාරණාත් බලපානවා කිව්වොත් වැරදි නෑ. විශේෂයෙන් ම සිනමා ශාලාවක TENET නරඹපු කෙනෙක් ට මේක එක පාරින් තේරුම් ගන්න එක සෑහෙන අමාරු වැඩක්.

ඒ තාක්ෂණික කාරණා අතෑරලා, කතාවට දිහා බලමු.

TENET — චිත්‍රපටයේ නම ම ටිකක් අමුතු වැඩක්. මේ වචනය මුල ඉඳලා අගට කියෙව්වත්, අග ඉඳලා මුලට කියෙව්වත් එක ම වචනයක්. අපි මේ වගේ වචන වලට “පැලින්ඩ්‍රෝමයක්” (Palindrome) කියලා කියනවා. “සරළ සිංහලෙන්” කිව්වොත් “උභයදිශා සර්වසම වචනයක්”!

TENET කියන්නේ SATOR square කියන ඉපැරණි ලතින් ලියැවිල්ලක වර්ගයක එන වචනයක්. මේ SATOR square එකේ තියෙන්නේ පැලින්ඩ්‍රෝම වචන පහක එකතුවක්. ඒ වචන පහ තමයි SATOR, AREPO, TENET, OPERA, ROTAS!

පොම්පෙයි නුවරින් හමු වූ ඉපැරණි Sator Square එකක්. ඡායාරූපය: Wikipedia

මේ වචන ටික දැක්කම “අම්මටසිරි” මොහොතක් දැනුනේ නැත්තං, ඔබ චිත්‍රපටය හරියට නරඹලා නෑ. එහෙම නම් මෙතනින් එහාට කියවීම පැත්තක තියලා නැවත චිත්‍රපටය නරඹන්න.

*Spoiler Alert*

TENET — කියන්නේ SATOR square එකේ හරි මැද තියෙන වචනය. ඒ වගේ ම තමයි මේක TEN කියන වචනය දෙපැත්තකින් එකට කරලා ලිවීමක්. චිත්‍රපටයේ අන්තිම සටන – විනාඩි දහය ගානේ කාලය ඉදිරියටත්, ආපස්සටත්, ගමන් කරන කණ්ඩායම් දෙකක් – TEN — NET! මේ වචනයේ ලතින් අර්ථය ගත්තොත්, නොනැසී පවත්වා ගන්නා (Sustain) එහෙමත් නැත්තනම් සියල්ල ම බැඳ තබාගන්නා වගේ තේරුමක් තමයි තියෙන්නේ. චිත්‍රපටයේ හැටියට ලෝකයේ විනාශය නවත්තලා, මේ තත්ත්වයන් එහෙම ම පවත්වා ගන්න සංවිධානය තමයි TENET!

අනිත් නම් ටික ගත්තොත්, SATOR කියන්නේ චිත්‍රපටයේ ප්‍රධාන දුශ්ඨයා ගේ නම. SATOR කියන ලතින් වචනයේ තේරුම මූලිකයා, අරඹන්නා වගේ තේරුමක්. ඔහු තමයි චිත්‍රපටයේ හැටියට විනාශය ආරම්භ කරන පුද්ගලයා. AREPO, කියන්නේ චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය, Kat ව Sator යටතට පත්වෙන්න හේතු වෙන වංචනික චිත්‍රයේ නිර්මාණකරුවා. OPERA එකක් ඇතුලේ තමයි චිත්‍රපටයේ ආරම්භක දර්ශනය තියෙන්නේ. Sator තමන්ගේ ආරක්ශක සංවිධානය විදිහට බඳවා ගන්නේ ROTAS.

මේ නම් වලින් පවා නෝලන් සෑහෙන ලස්සන “වැඩක්” කරලා තියෙනවා!

දැන් එතනින් එහාට යමු. කතාව!

මේකේ සංකල්පය තේරුම් ගන්න නම්, මුලින් පොඩි භෞතික විද්‍යා දැනුමක් අවශ්‍ය ය වෙනවා. එන්ට්‍රොපිය ගැන චිත්‍රපටයේ සෑහෙන කතා කරනවා. මොකද්ද එන්ට්‍රොපිය කියන්නේ? සරළ ව ගත්තොත්, එන්ට්‍රොපිය කියන්නේ යම්කිසි භෞතික පද්ධතියක ව්‍යාකූලත්වය ගැන මිනුමක් කියලා කියන්න පුළුවන්. කිසියම් පද්ධතියක එන්ට්‍රොපිය වැඩි වෙනවා කියන්නේ, ඒ පද්ධතියේ ව්‍යාකූලත්වය, නැත්නම් disorder එක වැඩි වෙනවා කියන එක කියලා සැලකුවාට ප්‍රශ්නයක් නෑ.

ඊට පස්සේ අපිට දැනගන්න වෙනවා තාපගති විද්‍යාවේ දෙවැනි නියමය (2nd law of Thermodynamics). මේ නියමය විවිධ විදිහට අර්ථ දක්වන්න පුළුවන්. මේ චිත්‍රපටයේ සන්දර්භයට අවශ්‍ය අර්ථයෙන් ගත්තොත්, දෙවැනි නියමයෙන් කියවෙන්නේ යම්කිසි සංවෘත පද්ධතියක් සමතුලිත වෙන්නේ, එහෙම නැත්නම් යම්කිසි සංවෘත පද්ධතියක් ඇතුලේ සිදුවන ක්‍රියාවලීන් සිදුවෙන්නේ, ඒ පද්ධතියේ එන්ට්‍රොපිය උපරිම වන ආකාරයට කියලා.

මේක තව ටිකක් පැහැදිලි කරගත්තොත්, අපි අත්දකින භෞතික ක්‍රියාවලීන් ශක්ති සංස්ථිති මූලධර්මයට අනුව හැසිරෙනවා. ඒ කියන්නේ යම්කිසි සංවෘත පද්ධතියක ශක්තිය නියතයි, ශක්තිය එක අවස්ථාවක ඉඳලා වෙනත් අවස්ථාවකට පරිවර්ථනය කරන්න පුළුවන්, නමුත් ශක්තිය මැවීම හෝ නැසීම කළ නොහැකි දෙයක්. ඒක එහෙම වුනත් සමහර ක්‍රියාවලීන් අපිට ආපස්සට හැරවීම කරන්න බෑ.

සරල උදාහරණයක් ගමු. එලිමහනේ තියන අයිස් කැටයක් දියවෙන බව අපි දන්නවා. එතනදි වෙන්නේ බාහිර පරිසරයේ තියෙන ශක්තිය අවශෝශණය කරගෙන අයිස් කැටයේ තියෙන ජල අණු වල උශ්ණත්වය වැඩි වෙන එක. මෙතනදි ශක්තිය පරිසරයෙන් අයිස් කැටයට ලැබෙනවා. නමුත් සම්පූර්ණ පද්ධතියේ ශක්තිය නියතව තියාගෙන, අයිස් කැටයෙන් ඉතිරි වුන ජලයේ ශක්තිය පරිසරයට පිට කරලා, අපිට නැවත අයිස් කැටය හදාගන්න පුළුවන් ද? බෑ. ඒකට හේතුව තමයි දෙවැනි නියමයෙන් පැහැදිලි කරන්නේ. ශක්තිය ගලන්නේ එන්ට්‍රොපිය වැඩි වෙන විදිහට. අයිස් කැටය, අයිස් කැටයක් ලෙස පවතිනවට වඩා, වැඩි උෂ්ණත්වයකට පත් වෙලා, දියවුනා ම තමයි එන්ට්‍රොපිය වැඩි.

මේ හැසිරීම නිසා ම තාපගති විද්‍යාවේ දෙවැනි නියමය ට අපි “කාලයේ ඊතලය” (Arror of time) කියලා කියනවා. විශ්වය කියන්නේ සංවෘත පද්ධතියක් කියලා හිතුවොත්, ඒ පද්ධතියේ ක්‍රියාවලීන් සිදුවෙන්නේ එන්ට්‍රොපිය වැඩි වෙන දිශාවට. ඒ කියන්නේ කාලය ගතවෙන්නේ එන්ට්‍රොපිය වැඩි වෙන දිශාවට. ඒ නිසා අපි ට හිතන්න පුළුවන් එන්ට්‍රොපිය වැඩි වෙනවා නම් කාලය ඉදිරියට ගමන් කරන බව. එහෙනම් කාලය ආපස්සට යවන්න නම්, එන්ට්‍රොපිය ප්‍රතිවර්ත (invert) කරන්න ඕන! මේක තමයි කතාවේ හරය.

චිත්‍රපටයේ හැටියට අනාගතයේ ඉන්න විද්‍යාඥවරියක් හොයාගන්නවා ලෝකයේ ම (විශ්වයේ ම?) එන්ට්‍රොපිය ආපසු හරවන තාක්ශණයක්. ඒකට චිත්‍රපටයේ කියන නම තමයි ඇල්ගොරිදම් (Algorithm). (සාමාන්‍ය භාවිතයේ දී ඇල්ගොරිදමයක් කියන්නේ තාර්කික දෙයක් වුනත් චිත්‍රපටයේදී ඇල්ගොරිදම් එක කියලා හඳුන්වන්නේ භෞතික දෙයක්.) මේක හොයාගත්තට පස්සේ ඇය තේරුම්ගන්නවා ඇය හොයාගත්තේ ලෝකය විනාශ කරන්න පුළුවන් තාක්ශණයක් කියලා. (මේක සමාන කරන්නේ ඕපන්හෛමර් න්‍යෂ්ටික බෝම්බය සොයාගැනීම ට.) ඉතින් ඇය ඒක කොටස් නවයකට වෙන් කරලා, අවකාශකාලයේ හංගනවා. (අපි සාමාන්‍යයෙන් දෙයක් හංගන්නේ අවකාශයේ විතරක් වුනාට, ඇයට පුළුවන් ඇය හොයාගත්තු තාක්ශණය ම පාවිච්චි කරලා කාලය ඇතුලෙත් යම් දෙයක් හංගන්න!) ඉන්පස්සේ ඇය මේ හංගපු තැන් වෙනත් අය අතට පත්වෙන එක වලක්වන්න සියදිවි නසාගන්නවා.

එන්ට්‍රොපිය ආපසු හැරවීමෙන් ලෝකය විනාශ වෙන්නේ කොහොමද? එන්ට්‍රොපිය ආපසු හැරවීම නිසා කාලය ගත වෙන්නේ අනාගතයේ ඉඳලා අතීතය ට. ඒ කියන්නේ අතීතය සම්පූර්ණයෙන් ම මැකෙනවා. නැති වෙනවා.
අතීතය නැති වුනා ම අනාගතය පවතින්නේ කොහොමද? මේක විරුද්ධාභාෂයක්. කාලතරණය ගැන කියවෙන ඉතා ම ප්‍රසිද්ධ Grandfather Paradox එකේ කියැවෙන්නේ මේ ගැන. චිත්‍රපටයේ දී නීල්, මේ ගැන කතානායකයාට පැහැදිලි කරනවා. අපි අතීතයට ගිහින් අපේ තාත්තා ඉපදෙන්න කලින්, තාත්තාගේ තාත්තව, නැත්නම් අපේ සීයා ව මැරුවොත් මොකද වෙන්නේ? අපේ සීයා මැරුනා නම්, තාත්තා උපදින්නේ නෑ. එහෙනම් අපි උපදින්නේ නෑ. එහෙනම් සීයාව මරන්න කෙනෙක් නෑ. එහෙනම් සීයා මැරෙන්නේ නෑ. මේක විසඳුමක් නැති ගැටළුවක්. මේ වගේ ගැටළු තමයි විරුද්ධාභාෂ එහෙමත් නැත්නම් Paradox කියලා හඳුන්වන්නේ. ඉතින් මේකත් එහෙම විරුද්ධාභාෂයක්. ඒකට විසඳුමක්, උත්තරයක් දෙන්න බෑ.

නමුත් අනාගතයේ ඉන්න මිනිස්සුන්ට ඕන වෙනවා මේ ඇල්ගොරිදම් එක හොයාගන්න. ඇයි? ඒ වෙනකොට අතීතයේ හිටි මිනිස්සු (අපි) විසින් කරන (කරපු?) දේවල් නිසා දේශගුණික විපර්යාස, පරිසර දූෂණය වගේ දේවල් වලින් ලෝකය විනාශ වෙලා ඉවරයි. ඉතිං ඒ ප්‍රතිඵල ආපසු හරවන්න නම්, එන්ට්‍රොපිය ආපහු හරවලා, කාලය ආපසු හරවන්න ඕන! ඒ සඳහා ඇල්ගොරිදම් එක හොයාගන්න ඕන. ඒ සඳහා අනාගතයේ ඉන්න “බලය ඇති” අය තෝරාගන්නේ කතාවේ දුශ්ඨයා, Sator ව. ඇයි? ඔහු හරි වෙලාවේ, හරි තැන (බිඳවැටුනු සෝවියට් රුසියාවේ, සැඟවණු න්‍යශ්ටික පර්යේශණ කරපු නගරයක, පැරණි න්‍යශ්ටික අවි සහ අපද්‍රව්‍ය සොයමින්) හිටපු නිසා. ඉතිං අනාගතයේ මිනිස්සු, පොළව යට වැලලූ පණිවිඩ හරහා Sator එක්ක පණිවිඩ හුවමාරු කරගන්නවා. ඒ එක්ක ම ඔහුට රත්රන් වලින් ගෙවීම් කරනවා.

ඒ වුනත් ඇයි තමන්ගේ ම විනාශය වෙනුවෙන් Sator වැඩ කරන්නේ?
ඔහුට සුව කළ නොහැකි පිළිකාවක් තියෙනවා. (ඔහු න්‍යශ්ටික පර්යේශණ සිදුකරපු නගරයක හැදුනු කෙනෙක්. ඔහුට පිළිකාවක් වැළඳන්න තියෙන ඉඩ ඉතා ම වැඩියි!)
Sator හිතන විදිහ ගැන අපිට පෙන්නනවා තමන්ගේ බිරිඳ ගැන ඔහු හිතන විදිහෙන්. ඔහුගේ ම වචන වලින් “If I can’t have her, no one can”.
ඔහුට ජීවත් වෙන්න බැරි නම් ඔහුත් සමග ම ලෝකය විනාශ කරන එක තමයි Sator ගේ අරමුණ.

ඉතින් අනාගතයේ මිනිස්සුන්ගේ උදව් ඇතුව Sator නිර්මාණය කරනවා එන්ට්‍රොපිය ආපසු හරවන්න පුළුවන් උපකරණයක්. (Turnstile කියලා චිත්‍රපටයේ හඳුන්වන්නේ මේ යන්ත්‍ර.) මේකෙන් ඇතුල් වෙන අයගේ (හා වස්තු වල) එන්ට්‍රොපියේ දිශාව (ආපස්සට හෝ ඉදිරියට) වෙනස් වෙනවා. ඉතින් Sator කරන්නේ මේ යන්ත්‍රයේ ආධාරයෙන් ඔහුගේ කණ්ඩායමේ කොටසක් කාලය හරහා ඉදිරියටත්, ඉතිරි කොටස කාලය හරහා ආපස්සටත් ගමන් කරන විදිහට කොටස් දෙකක් හදාගන්න එක. ඒකට Temporal pincer movement එකක් කියලා කියනවා. මේකේ වාසිය තමයි කාලය හරහා ආපස්සට එන අය අනාගතයේ සිදුවූ දේ දන්න නිසා, ඒ ගැන කාලය දිගේ ඉදිරියට එන අයට ඒ තොරතුරු දෙන්න පුළුවන් වීම. ඒ නිසා Sator ට පුළුවන් “ගොඩක් වෙලාවට” අනිත් අයට වඩා ඉස්සරහින් ඉන්න.

කතානායකයා දැනගන්නවා Sator, Oslo වල තියෙන Freeport (ධනවත් අයට, ලෝකයේ වටිනා ම කලා නිර්මාණ ඇතුළු වටිනා දේවල් බදු වලින් නිදහස් ව තියලා තියාගන්න පුළුවන් වෙන්න හදලා තියෙන අධි ආරක්ෂිත ගබඩා) එකක මොකක් හරි වැදගත් දෙයක් හංගලා තියෙනවා කියලා. ඔහු නීල්ගෙත්, මහීර්ගෙත් සහය ඇතුව, ගුවන්යානයක් හප්පලා, එතන ගිනි නිවීම් ක්‍රියාවලියේ තියෙන දුර්වලකම් පාවිච්චි කරලා, Oslo වල තියෙන Freeport එක ඇතුලට යනවා. එතනදී කතානායකයාටත්, නීල්ටත්, හම්බුවෙනවා Turnstile එකකින් එලියට එන දෙන්නෙක්. කෙනෙක් කාලය හරහා ඉදිරියටත්, අනිත් කෙනා ආපස්සටත්. මෙතනදී කතානායකයා ඒ කෙනෙක් එක්ක සටන් කළත්, ඔහු පැනගන්නවා.

පස්සේ Kat ගේ උදව් ඇතුව කතානායකයා Sator එක්ක සම්බන්ධතාවයක් හදාගන්නේ, Sator කරන්න සූදානම් වෙන්නේ මොකද්ද කියලා දැනගන්න. ඒ අනුව කතානායකයා දැනගන්නවා Sator ට Plutonium 241 අවශ්‍ය බව. කතානායකයා Sator ට Plutonium 241 දෙන්න පොරොන්දු වෙනවා, Kat ව නිදහස් කිරීමේ පොරොන්දුව මත. නමුත් කතානායකයා Sator ට පොරොන්දු වුන විදිහට Plutonium නොදෙන බව තමන්ගේ Temporal Pincer Movement එක හරහා දැනගන්න Sator, Kat ට එන්ට්‍රොපිය ප්‍රතිවර්ත කරපු උණ්ඩයකින් (inverted bullet එකකින්) වෙඩි තියනවා.

සාමාන්‍ය උණ්ඩයකට වඩා මේ ප්‍රතිවර්ත කළ (inverted) උණ්ඩ වලින් වෙන හානිය වැඩියි. ඒකට හේතුව එන්ට්‍රොපිය වැඩිවෙන (ප්‍රතිවර්ත නොකරපු) අවස්ථාවේ කෙනෙක් ට මේ උණ්ඩයක් වැදුනම උණ්ඩයේ තුවාලයට අමතරව විකිරණශීලීතාවයෙන් (Radiation) හානි සිදුවීම.

Kat ව බේරගන්න තියෙන එක ම විදිහ තමයි Kat ව turnstile එකක් හරහා යවලා, Kat ගේ එන්ට්‍රොපි එක ආපස්සට හරවන එක. එතකොට අර විකිරණශීලී හානි නැති වෙන නිසා Kat ව සුව කරගන්න පුළුවන්. නමුත් එතනදී කතානායකයා වගේ ම අපිත් දැනගන්නවා එන්ට්‍රොපිය ආපසු හැරවීම සරළ දෙයක් නොවන බව. එහෙම ප්‍රතිවර්ත කරපු (inverted) කෙනෙක් ට සාමාන්‍ය වාතය ආඝ්‍රාහණය කරන්න බෑ. පෙනහළු වලින් ඒ වාතය පෙරාගන්න බෑ, ඒ නිසා වෙන ම වායු සැපයුමක් අවශ්‍යය වෙනවා. තමන් ප්‍රතිවර්ත වුනත් බාහිර ලෝකය ප්‍රතිවර්ත නැති නිසා ලැබෙන භෞතින අත්දැකීම් වෙනස්. සාමාන්‍යයෙන් ශක්තිය ගලන දිශාවට ප්‍රතිවිරුද්ධව ශක්තිය ගලන නිසා, ප්‍රතිවර්ත වූ කෙනෙක් ගින්නක ට මුහුණු දුන්නොත්, ඔහු අධි ශීතල (Hypothermia) තත්ත්වයට පත්වෙනවා. (කතානායකයා මූණදෙන අනතුරේදී සිදුවෙන්නේ මේක.)

සාමාන්‍යයෙන් වෙන්නේ උෂ්ණත්වය වැඩි තැන ඉඳලා උෂ්ණත්වය අඩු තැනට තාපය (ශක්තිය) ගලන එක. ප්‍රතිවර්ත කෙනෙක් (හෝ වස්තුවක) ගේ වෙන්නේ උෂ්ණත්වය අඩු තැන ඉඳලා වැඩි තැනට තාපය (ශක්තිය) ගලන එක. ඒ නිසා වැඩි උෂ්ණත්වයේ තියෙන වස්තුව තව දුරටත් රත් වෙනකොට, අඩු උෂ්ණත්වයේ තියෙන වස්තුව තව දුරටත් සීතල වෙනවා!

(මෙතනදී ගින්න අතරේදී වාහනයේ වීදුරු අයිස් වීම නම් මට අනුව නෝලන් කරපු අත්වැරැද්දක්. කතානායකයා ප්‍රතිවර්ත වුනත් වාහනය ප්‍රතිවර්ත නොවුන නිසා, වාහනයේ වීදුරුවේ අයිස් බැඳෙන්න හේතුවක් නෑ)

මේ වගේ ව්‍යාකූලතා තිබුනත්, කතානායකයා, Neil සහ Kat තමන්ව ප්‍රතිවර්ත කරගන්නවා. මෙතනදී මතුවෙන ප්‍රශ්නය තමයි, ඔවුන් නැවත තමන් ව එන්ට්‍රොපිය වැඩි වෙන පැත්තට ප්‍රතිවර්ත කරගන්නේ කොහොමද කියන එක. එතනදී කතානායකයාත්, නීලුත් මතක් කරගන්නේ කලින් තමන්ට Oslo වල දී හමු වූ Turnstile එක! දැන් ප්‍රතිවර්තවෙලා කාලය හරහා ආපස්සට යන නීල් සහ කතානායකයා, Olso වල තමන් කලින් ගුවන් යානයක් හප්පලා ඇතුල් වුන දවසේ ම නැවතත් Turnstile එක ඇතුලට යනවා.

අපි මුලින් දකින කතානායකයා එක්ක සටන් කරන අනිත් පුද්ගලයා කතානායකයා ම බව මෙතනදී තේරුම් යනවා. ඒ අනුව, ඒ “වෙලාවේ” දී කතානායකයාගේ ම පිටපත් තුනක්, එක ම වෙලාවේ පවතිනවා.

  • සාමාන්‍ය විදිහට (මුල ඉඳලා) කාලය හරහා එන කතානායකයා
  • අනාගතයේ ඉඳලා කාලය හරහා ආපස්සට එන කතානායකයා
  • කාලය හරහා ආපස්සට ඇවිත්, turnstile එකෙන් ආපහු එන්ට්‍රොපිය ඉදිරියට හරවාගෙන පිටත් වෙන (නීල් සමග සටන් කරලා පැනලා යන) කතානායකයා.

මෙතනදී මතක තියාගන්න ඕන කාරණය තමයි මේ විදිහට එන්ට්‍රොපිය ආපසු හැරවීම හරහා වෙන්නේ අපි සාමාන්‍යයෙන් විද්‍යා ප්‍රබන්ධ වල දකින කාල තරණය වගේ අතීතයේ හෝ අනාගතයේ නිශ්චිත මොහොතකට ප්‍රාදුර්භූත වීමක් නොවන බව. මෙතනදී සිද්ධ වෙන්නේ කාලය ගතවන දිශාව වෙනස් වීම විතරයි. ඒ නිසා තමයි turnstile එකේ වීදුරුව හරහා බලද්දී තමන් අනිත් පැත්තෙන් එලියට එනවා පේන්නේ. Turnstile එකෙන් ඇතුලට යන මොහොතත්, අනිත් පැත්තෙන් එලියට එන මොහොතත් එකම යි. වෙනස් වෙන්නේ එතැන ඉඳලා කාලය ගත වෙන දිශාව!

මෙහෙම ගිහින් කතානායකයා දැනගන්නවා Sator ඇල්ගොරිදම් එක න්‍යෂ්ටික පිපිරීමක කේන්ද්‍රයේ (Epicenter එකේ) තැන්පත් කරලා, එතැන පිපිරීම සිදුකරන්න නියමිත බව. ඒකට හේතුව න්‍යෂ්ටික පිපුරුමක් වුන තැන තව සෑහෙන කාලයකට මිනිසුන්ට ළඟා වෙන්න නොහැකි නිසා, වර්තමානයේ මිනිස්සුන්ට ඒක ලබාගන්න නොහැකි වීමත්, ඒ නිසා අනාගතයේ මිනිස්සුන්ට ඇල්ගොරිදම් එක ලබාගන්න පුළුවන් වීමත්. මේ පිපුරුම Sator ගේ අතේ තියෙන heart beat monitor එකට සම්බන්ධ කරලා තියෙන්නේ, Sator ගේ හෘද ස්පන්ධනය නැවතුන ගමන්, බෝම්බය පුපුරන විදිහට.

තමන්ගේ මරණ දිනය විදිහට Sator තෝරගන්නේ Kat එක්ක වියට්නාමයේ නිවාඩුව ගත කරපු දිනය. ඒ දවසේ ම තමයි චිත්‍රපටයේ ආරම්භයේ අපි දකින ඔපෙරාවේ සිද්ධිය සිදුවෙන්නෙත්. ඉතිං මේ පිපිරීමට කලින් ඇල්ගොරිදම් එක එතැනින් අයින් කරන එක තමයි කතානායකයාගේ සැලැසුම. අපි දකින විදිහට මේ සැලසුම මෙහෙයවන්නේ ප්‍රියා කියන ඉන්දියානු ආයුධ වෙළඳාම් කරන කාන්තාව. කතානායකයා වැඩ කරන්නේ ඇය යටතේ. එතනදී මෙහෙයුම සාර්ථක වුනා ම Kat ගේ ජීවිතයට හානියක් නොකරන්න කියලා කතානායකයා ප්‍රියා ව පොරොන්දු කරගන්නවා.

සැලැසුමේ විදිහට කලින් කාලය හරහා ආපස්සට ආපු Kat, නැවත කාලය දිගේ ඉදිරියට ගමන් කරන්න ප්‍රතිවර්ත වෙලා, වියට්නාමයට යන්නේ, Sator ගේ සියදිවි නසාගැනීම පරක්කු කරන්න. ඒ අතරේ දී කතානායකයා, Neil, Ives, Wheeler ඇතුළු කණ්ඩායම් දෙකක් පිපුරුම සිද්ධ වෙන තැනට යනවා ඇල්ගොරිදම් එක තමන් අතට ගන්න. මේ කණ්ඩායම් දෙකෙන් එක (රතු) කණ්ඩායමක් කාලය දිගේ ඉදිරියටත්, අනෙක් (නිල්) කණ්ඩායම කාලය දිගේ ආපස්සටත් ගමන් කරන්න නියමිතයි. කණ්ඩායම් දෙකට ම විනාඩි දහයක කාලයක් තියෙනවා මෙහෙයුම සම්පූර්ණ කරන්න. මෙතනදී කතානායකයා රතු කණ්ඩායමටත්, නීල් නිල් කණ්ඩායමටත් එකතු වෙනවා.

මේ මෙහෙයුම අතරෙදි නීල් දකිනවා හෙලිකොප්ටරයකින් එන සතුරු සොල්දාදුවෙක් පිපිරුම් කේන්ද්‍රයට ඇතුල් වෙන උමග ළඟ බෝම්බයක් අටවලා උමගට ඇතුල් වෙනවා. (මේක නීල් ට පේන්නේ අග සිට මුලට, නීල් දැන් ඉන්නේ ප්‍රතිවර්ත වෙලා නිසා.) මේ ගැන කතානායකයාට අනතුරු අඟවන්න නීල් පිපිරුම් ස්ථානයේ තියෙන turnstile එකක් ආධාරයෙන් නැවත ප්‍රතිවර්ත වෙනවා. නමුත් නීල් ප්‍රතිවර්ත වෙලා වාහනයකින් කතානායකයා සහ Ives පස්සෙන් ආවත් ඔවුන්ව වලක්වන්න නීල් ට බැරි වෙනවා. උමග පුපුරලා කතානායකයා සහ Ives ඇතුලේ හිරවෙනවා. ඊට පස්සේ නීල් කරන්නේ හමුදා වාහනය අරගෙන පිපුරුමේ ඉහල විවරය ළඟට ඇවිත්, කතානායකයාටත්, Ivesටත් එලියට එන්න ආධාරකයක් දෙන්න යන එක.

මේ අතරේ කතානායකයා සහ Ives උමග ඇතුලේ දොරක් ළඟ හිරවෙනවා. එතන මැරුණ නිල් කණ්ඩායමේ සාමාජිකයෙක්ගේ මළසිරුර දකින කතානායකයාට මතක් වෙනවා තමන් ව කලින් ඔපෙරාවේදී බේරාගත් කෙනා විදිහ ම රතු නූලක් මේ මැරිච්ච සාමාජිකයාගේ කරමල්ලේ ද තියෙන බව, ඒ කියන්නේ, තමන්ව කලින් ඔපෙරාවේදී බේරාගත් කෙනා මෙතැන මැරිලා තියෙන බව.
ඒ දොර ළඟ දී Sator ගේ හමුදාවේ සාමාජිකයා කතානායකයාට වෙඩි තියන තැන දී, අර මැරුණු නිල් කණ්ඩායමේ සාමාජිකයා නැගිටලා ඒ උණ්ඩයට මුහුණ දෙනවා. ඒ කියන්නේ, ඒ මැරිලා ඉන්නේ ප්‍රතිවර්ත වූ කෙනෙක්. ඔහු කාලය හරහා ආපස්සට එන අතරේ, හිරවුන දොර ඇරලා, කතානායකයාට තියපු වෙඩි උණ්ඩයට මුහුණ දෙනවා. මේක අපිට පේන්නේ ආපස්සට, මැරුණ තැන ඉඳලා මුලට.

ඊට පස්සේ ඇල්ගොරිදම් එක තමන් අතට ගන්න කතානායකයා, Ives එක්ක Neil උඩින් දෙන ආධාරකයේ එල්ලිලා එලියට එනවා, මේ වෙලාවේදී ම Kat, Sator ට වෙඩි තියනවා. අවසානයේ පිපිරුමට කලින් කොහොමහරි ඇල්ගොරිදම් එක තමන් අතට ගන්න කතානායකයා ඇතුළු පිරිසට පුළුවන් වෙනවා!

අන්තිමට අපි දකිනවා ඇල්ගොරිදම් එක කොටස් තුනකට වෙන් කරලා කතානායකයා, Neil සහ Ives අතරේ බෙදාගන්නවා. ඇල්ගොරිදම් එක ගැන එතනින් එහාට කිසිම කෙනෙක්ට දැනගන්න ඉඩ නොතියන එක තමන් බාරගන්න අවශ්‍ය බව ඔවුන් එකඟ වෙනවා. එතැනින් නීල් හැරිලා යනකොට, කතානායකයා දකිනවා අර රතු පාට නූල නීල්ගේ කර මල්ලේ තියෙන බව. ඒ කියන්නේ නීල් මේ යන්නේ ආයෙම ප්‍රතිවර්ත වෙලා, උමග ඇතුලට. නීල් තමයි කතානායකයාට එන උණ්ඩයට මුහුණ දීලා මැරෙන්නේ!

මෙතැනදී කතානායකයා අහනවා නීල් ව TENET එකට බඳව ගත්තේ කවුද කියලා. නීල් කියන්නේ, තමන්ව බඳවගත්තේ කතානායකයා කියලා! නීල් ට අනුව මේ කතානායකයා නීල්ව අඳුනගන්න මොහාත වගේ ම, නීල් කතානායකයට සමුදෙන මොහොත.
දැන් පැහැදිලි වෙනවා නීල් කතානායකයාව මුලින් ම හම්බවෙන වෙලාවේ කතා නායකයා ගැන විස්තර දැනගෙන හිටියේ කොහොමද කියලා.

සමහර තැන් වල නීල් කියන්නේ Kat ගේ පුතා වෙන්න පුළුවන් කියලා අදහසක් තියෙනවා. ඒක වෙන්න පුළුවන් වගේ ම සෑහෙන ලස්සන වැඩක්. Kat ගේ පුතාගෙත් Neilගෙත් පෙනුමේ සමාන ලක්ශණ තියෙනවා.

මෙතනදී කතානායකයා තේරුම් ගන්නවා මේ සම්පූර්ණ සැලැස්ම ම, තමන්ගේ එකක් බව. ඒ කියන්නේ TENET කියන්නේ කතානායකයා විසින්, මේ විනාශය නවත්තන්න අනාගතයේදී බිහි කරන සංවිධානය බව! ප්‍රියා ව මෙහෙයවන්නේත් අනාගතයේ සිටින කතානායකයා ම බව!

ඒ අනුව මේ සම්පූර්ණ කතාව ම තනි Temporal Pincer Movement එකක්!

මේ අවසානය පැහැදිලි කරගන්න නම්, මේ කතාවේ විස්තර වෙන කාලතරණ සංකල්පය තව ටිකක් විස්තර කරගන්න ඕන.

මේ කතාවේ එන කාල තරණය සංවෘත පුඩු කාල තරණයක් (Closed-loop time travel එකක්). සරළව, නීල් ගේ වචන වලින් ම කියනවා නම්, What’s happened, happened. යමක් දැනට ම සිදු වෙලා නම්, ඒක දැනටම සිදුවෙලා ඉවරයි. මේ ආකාරයේ කාලතරණ වල විශේෂත්වය තමයි, නිශ්චිත අගක් හෝ මුලක් නැති වීම. සිද්දීන් සියල්ල දාමයක් විදිහට එකිනෙකට බැඳිලා තිබීම.

උදාහරණයක් විදිහට කතා නායකයා බේරෙන්න නම්, උමග ඇතුලෙදි නීල් මැරෙන්න ඕන. නීල් එහෙම මැරෙන්න නම්, කතා නායකයා අනාගතයේදී නීල් ව TENET එකට බඳවගන්න ඕන. නීල්ව බඳවගන්න නම්, කතා නායකයා බේරෙන්න ඕන. කතා නායකයා බේරෙන්න නම්, නීල් මැරෙන්න ඕන…

තව සංකීර්ණ උදාහරණයක් ගත්තොත්, TENET කියන්නේ කතානායකයා අනාගතයේදී හදන සංවිධානය. ඒක හදන්න නම්, කතානායකයා දැන් TENET එකට බැඳෙන්න ඕන. මේ සිද්ධි දෙකෙන් මුලින් සිදු වෙන්නේ කෝකද කියලා හිතන්න බෑ. මේ වගේ විරුද්ධාභාෂ වලට Predestination Paradox කියලා කියනවා.

එතනින් අපිට චිත්‍රපටයේ එන ප්‍රධාන දෙබසකට යන්න පුළුවන්. කතානායකයාට මුලින් හම්බවෙන විද්‍යාඥවරිය කතානායකයාට කියනවා එන්ට්‍රොපිය ආපසු හැරවූ වස්තුවක් අතට ගන්න නම්, අපි මුලින් ම ඒක අත්ඇරලා තියෙන්න ඕන කියලා. ඒ කියන්නේ, වස්තුව වැටිලා තියෙනවා, ඊට පස්සේ අපි ඒක අතඅරිනවා. ඊට පස්සේ තමයි ඒ වස්තුව අතට එන්නේ. කතා නායකයා අහනවා, ඵලයට කලින් හේතුව පවතින්න ඕන නේද (But cause comes befoe effect) කියලා. ඒකට පස්සේ ඔහු අහනවා What about the free will? (ස්වච්ඡන්දතාවයට මොකද වෙන්නේ?) කියලා. ඒකට ඇය දෙන උත්තරය තමයි, අපි අත එතැන තිබ්බේ නැතිනම්, උණ්ඩය අතට නොඑන බව. ඒ කියන්නේ අත එතන තියනවද, නැද්ද කියන ස්වච්ඡන්දය තමන් අතේ තියෙන බව).

මේ විද්‍යාඥවරිය සමහරවිට අනාගතයේදී ඇල්ගොරිදම් එක හදන විද්‍යාඥවරිය වෙන්න පුළුවන්. කතා නායකයා, “You didn’t make it?” කියලා අහද්දී ඇය කියන්නේ “No, we don’t know how yet” කියලා. ඒ කියන්නේ මේක හදන හැටි “තාම” දන්නේ නැති බව.

නමුත් කතාව අවසාවයේදී අපිට තේරෙන දේ තමයි, අත තියනවාද නැද්ද කියන තීරණය තමන් අතේ නැති බව. නීල් ගේ වචන වලින් “What’s happened’s happened” (යමක් සිදු වෙලා නම්, ඒක දැනටම සිදුවෙලා ඉවරයි). මේ අනුව නෝලන් අහන්නේ ඉතා පරණ දාර්ශනික ප්‍රශ්නයක්; අපිට ස්වච්ඡන්දතාව තියෙනවා ද නැද්ද?

සරළ ව ඇහුවොත්, අපි ගන්න තීරණ ඇත්තට ම අපි ගන්නා තීරණ ද? සිදුවීමට නියමිත සියලු ම දේ කලින් ම තීරණය වෙලා අවසන් ද? අපි නිකන් ම නිකං ඒ තීරණය වූ කතාවේ නළුවන් විතර ද? අපි ජීවත්වන්නේ නිශ්චිත විශ්වයක (deterministic universe එකක) ද? නෝලන් අපෙන් අහන්නේ ඒක!

--

--